එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 190ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

ඒ අනුව තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉදිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට හැකිවුණා.

එංගලන්ත කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 483ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 86.4කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 292ක් පමණයි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න (55), දිනේෂ් චන්දිමාල් (58), නායක ධනංජය ද සිල්වා (50) හා මිලාන් රත්නායක (43) පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වුවද පරාජය වළක්වා ගත නොහැකි විය.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ගස් ඇට්කින්සන් ලකුණු 62කට කඩුලු 05ක් දවා ගත්තා.